පොලිසිය පහරදුන්නැයි පළාත් මන්ත්‍රී අශෝක රන්වල රෝහලේ


(අකිල බද්දෙවිතාන, මුදිතා දයානන්ද)

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාට සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා කළ පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් තරුණයකු සම්බන්ධයෙන් පොලිසිය සමග සාකච්ඡා කිරීමට ඊයේ(4) රාත්‍රී 9ට පමණ පොලිසියට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇතැයි ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් දරුණු ලෙස පහරදී ඇති බවත් එහිදී ඔහුගේ දෙපාවලට දැඩි හානි සිදුව ඇති බවත් දැනගන්නට ලැබුණු අතර ඔහු බේරාගෙන රෝහල් ගත කරන ලෙස ඉල්ලා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට අශෝක රන්වල මහතා ඇතුළු කිහිප දෙනෙක් ගිය බවත් ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අවස්ථාවේදී ‘‘උඹ කවුද මට උගන්වන්න‘‘ යැයි විමසමින් ස්ථානාධිපතිවරයා අශෝක රන්වල මහතාට පහර දුන් බවත් පසුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දැමූ බවත් ඔහු පැවසීය. ඉන් පසු තමන් ඇතුළු පිරිසගේ මැදිහත්වීමෙන් රන්වල මන්ත්‍රීවරයා රාගම දිසා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ බව ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.පී.ලින්ටන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එවැනි කිසිදු පහරදීමක් සිදු නොවුණු බවත් රන්වල මන්ත්‍රීවරයා සපුගස්කන්ද පොලිසියට පැමිණ තමාට තර්ජනය කළ බැවින් අත්අඩංගුවට ගත් බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අවසන්ව ඊයේ(4) රාත්‍රී 9ට පමණ අශෝක රන්වල මහතා ඇතුළු 15 දෙනකුගෙන් පමණ යුත් පිරිසක් යළි පොලිසියට පැමිණ තමාට තර්ජනය කළ බව වැඩබලන ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතා  කියා සිටියේය. රන්වල මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ද යන්න තමා දැන නොසිටි බවත් අත්අඩංගුවට ගත් තරුණයකු සම්බන්ධයෙන් මැදිහත් වූ බැවින් තමා මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි බවත් එහිදී මන්ත්‍රීවරයා විසින් තමා තල්ලු කර තර්ජනය කළ බවත් ලින්ටන් ද සිල්වා මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය. පොලිසියට තර්ජනය කර පහරදීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් පසුව දිසා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ බවත් වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

අත්අඩංගුවට පත් හෙයියන්තුඩුව ප්‍රදේශයේ තරුණයාගේ දෙපාවලට හානි සිදුව ඇත්තේ පොලිසිය කළ පහරදීමකින් නොව ඔහු බෑවුමක් වැනි ස්ථානයකින් පහළට පැනීම නිසා බවත් වැඩබලන ස්ථානාධිපතිවරයා කීය.