කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නාදැයි පරීක්ෂණ පවත්වන ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතාගේ ප්‍රකාශයක් අද (15) සටහන් කර ගත්තේය.
පැය තුනක් පමණ ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි කියයි.
කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස ලැබූ පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නම් එක්දරු පියා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.
ඔවුන් දෙදෙනා නිදහස ලැබීමෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී පොලිසියෙන් මුලින්ම ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තේය. තමන් අත්අඩංගුවට ගෙන දින තුනක් පොලිසියේ රඳවා ගනිමින් පහර දුන් බව ඔවුන් පොලිසියට කියා ඇත.
මේ වන විට 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි. ඒ අතර ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගන්නවා දුටු පිරිස් ද, ඔවුන් පොලිස් බාරයේ තබා ගත්තායැයි කියන කාලයේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පිරිස් සහ එම කාලයේ රාජකාරි කළ පොලිස් නිලධාරීහු ද වෙති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, අත්අඩංගුවට ගැනීම ගැන පොත්වල දැමූ සටහන් පරීක්ෂා කිරීමටත් තිබෙන බවයි. විමර්ශන අවසානයේ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා කීවේය.
සිසුවා සම්බන්ධ වෛද්‍ය වාර්තා දෙක අනිවාර්යයෙන් වෙනස් විය යුතු බවත් හේතුව අවස්ථා දෙකකදී කරුණු දෙකක් සම්බන්ධව කළ පරීක්ෂණ වාර්තා නිසා බවත් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රාහුල් හක් මහතා පවසයි.

