තරිඳු ජයවර්ධන
පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා අල්ලස් පනතේ ‘දූෂණය‘ නම් වරද සිදු කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ද ඉල්ලමින් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අද (06) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
නීතීඥ අශෝක වීරසූරිය සහ නීතීඥ ඉෂාර ගුණවර්ධන මහත්වරුන් සමග අල්ලස් කොමිසමට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එහි ලේකම්වරයාට පැමිණිල්ල සහ ලේඛන භාර දුන්නේය.
තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් නිසා පොලිස්පතිවරයා තමාට පාඩුවක් කිරීමේ චේතනාවෙන් පොලිස් කොමිසමෙන් ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකර සිටින බව පාලිත සිරිවර්ධන මහතාගේ පැමිණිල්ලේ සදහන්වේ.
කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරන ලෙස පොලිස් කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
තමා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිව සිටින කාලයේ පූජිත් ජයසුන්දර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ බවත්, එම වකවානුවේ ඔහු කළ අසාධාරණ ක්‍රියාවක් ගැන තමා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර බහින්බස් වීමක් ඇති වූ බවත්, ඊට පළිගැනීමක් ලෙස තමා කිලිනොච්චි කොට්ඨාස භාර නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ද පොලිස්පතිවරයා උත්සාහ කළ බවත් පාලිත සිරිවර්ධන මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයා තමාගෙන් පළිගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු දක්වා ඇති ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරය පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් පරිදි රාජ්‍ය නිලධාරියකු වශයෙන් නීත්‍යනුකූලව කළ යුතු ක්‍රියාවක් සිදු නොකරමින් ‘දූෂණ‘ නම් වරද සිදු කරනු ලැබ ඇතැයි ද සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පොලිස්පතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.