පොලිස්පතිගෙන් මියගිය සැරයන්ගේ පවුලට වන්දියක්



(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 
කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සේවය අගය කර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (26) රුපියල් විසි පන් ලක්ෂ හැට දහසක වන්දි මුදලක් පිරි නැමීය.

මෙම අවාසනාවන්ත සිද්ධිය වනවිට ලෝක පොලිස්පතිවරුන්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස්  සිටි පොලිස්පතිවරයා අද (26) අලුයම දිවයිනට පැමිණීමෙන් පසු තම පළමු කාර්යය ලෙස මියගිය පොලිස් සැරයන්වරයාට සංවේගය පල කිරීම සඳහා ඔහුගේ මාතර ගොඩගම පිහිටි නිවස වෙත පැමිණියේය.

දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු, මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.
 
පොලිස්පති විසින් විශේෂ ත්‍යාග අරමුදල යටතේ මියගිය පොලිස් සැරයන්වරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 15 ක ද අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ද සේවා වනිතා ඒකකයේ අරමුදලින් රුපියල් හැට දහසක් ආදී ලෙස එම මුදල් ප්‍රදානය සිදු කරන ලදී.
 
මියගිය පොලිස් සැරයන් වීරසිංහ මහතාගේ බිරිඳ වන සෞම්‍යා කුමාරි අබේවික්‍රම  (33) මහත්මිය තම වැඩිමහල් දියණිය මෙතුලි දුලන්යා (05) හා බාල පුතු මතිල නෙත්සල (03) තුරුලු කරගෙන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ වෙඩි නොවදින ඇඳුමක් ඇදගෙන ගියේ නම් තම සැමියාට මෙම ඉරණම අත් නොවන නිසා ඉදිරියේ දී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි රාජකාරි කටයුතු වලට යන සෑම නිලධාරියකුටම වෙඩි නොවදින ඇඳුමක් අනිවාර්ය කරන ලෙසයි.

පොලීසියට වෙඩි නොවදින ඇඳුම් ලබාදී තිබෙන බව කී පොලිස්පතිවරයා ඉක්මණින් එම ස්ථානයට යා යුතු නිසා ඔවුන් ඒවා පැළඳ ගෙන ගොස් නැති බවද ඉදිරියේදී එය අනිවාර්ය කරන බවද ඊට පිළිතුරු දෙමින් කීය.