
(දසුන් රාජපක්ෂ)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 8දෙනෙකුට සැප්තැම්බර් 10 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(20) නියෝග කළේය.
මීට ඉහතදී විභාග කෙරුණු මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබාගැනීම අද(20)ට යෙදී තිබුණද, එම ප්‍රකාශ ලබාගැනීම අද සිදුනොකෙරුනු නිසා සැප්තැම්බර් 10 වැනිදා පැමිණෙන ලෙස නියෝග කෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල පිළිබඳ බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා අත්අඩංගුවට ගෙන තමා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බව සඳහන් කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙම ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 8දෙනා නම් කර තිබුණි.
එම පැමිණිල්ල අද(20) යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 7දෙනෙකු ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර, එක් වගඋත්තරකරුවකු කොමිසම වෙත විශේෂ හේතුවක් මත නොපැමිණි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේය.
මෙම කොමිසම හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් පැමිණිලිකරුගෙන් සාක්ෂි ලබාගැනීම අවසන් කර ඇති බව දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොමිසමේ සභාපතිවරයා මෙම පැමිණිල්ල කැඳවන ලබන සැප්තැම්බර් 10 වැනි දින නිදහසට කරුණු ඇති නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කිරීමෙන් අනතුරුව පැමිණිල්ල එදින කැඳවීමට නියෝග කළේය.

