පොලිස්පති ගැන පොලිස් ලොක්කන් මතුකළ කාරණා සලකා බලයි


(තරිඳු ජයවර්ධන)
 
පොලිස්පතිවරයායේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉදිරිපත් කළ කාරණා  පොලිස් කොමිෂන් සභාව ඊළඟට රැස්වන දිනයේ සාකච්ඡා කරීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පොලිස් කොමිෂන් සභාවේදී පැවැති අතර එහි දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මතුකර තිබුණේ පරිපාලනය සම්බන්ධ ඇතැම් වගකීම් පොලිස්පතිට නොපවරා කොමිසම මගින් සිදු කරන ලෙසයි.
 
පොලිසියේම අංශ කිහිපයක් මගින් තමන්ගේ දුරකතන අංක ගැන සොයා බලන බවට තොරතුරු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රකාශ කර තිබේ. 
 
එමෙන්ම ඉහළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියේ එක්තරා අංශයටකට උපදෙස් දී ඇති බවත්, සැකකරුවකුගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට නොගැනීම ඔහුට එල්ල කළ චෝදනාව බවත්,  එම පොලිස් නිලධාරියා අනිත් සිදුවීම්වලදී මෙන්ම මෙම සිදුවීමේදීද සිදු කර ඇත්තේ මුලින්ම ප්‍රකාශ ලබා ගැනීමට එන ලෙස දැනුම්දීම බවත්, පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත්තානම් සියලු විමර්ශන ගැටළු සහගත වෙන බවත් පොලිස් ප්‍රධානීන් අවධාරණය කර ඇතැයි දැනගන්නට තිබේ. 
 
මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව රැස්වන ඊළග දිනයේ තීරණයක් ගන්නා බව කොමිෂන් සභා නිලධාරියෙක් කීවේය