
(ගයාන් සූරියආරච්චි සහ දයාරත්න ඇඹෝගම)
නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් පොලිසිය භාරයට ගැනීමට යාමේදී එහි සිටි පොලිස් සැරයන්වරයකුට මන්නා පිහියකින් පහරදුන් බව කියන සැකකරුවකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
අනුරාධපුර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අනුරාධපුර සිත්තම්පලම් හන්දිය අසල රථවාහන රාජකාරියේ යෙදි සිටියදී මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර තිබූ අතර එම සැකකරු යතුරුපැදිය නොනවත්වා ධානය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව යතුරපැදියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදිය නැවැතී ඇති අතර එහිදී නිලධාරීන් විසින් සැකකරුගෙන් යතුරුපැදියට අදාල බලපත්‍ර ඉල්ලා ඇත. පසුව ඒ සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් සැකකරු සන්තකයේ තිබී නොමැති අතර එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය පොලිස් භාරයට ගැනීමට යාමේදී සැකකරු එකවරම ඔහුගේ බෑගයේ තිබී මන්නා පිහියක් ගෙන පොලිස් සැරයන්වරයකුට පහරදී ඇති බව පොලිසිය කියයි.
එහිදී පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ දකුණු අත තුවාල වී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

