පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳට නව නිවසක්



(අනීෂා මානගේ)

කතරගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පතිරණලාගේ නිරෝෂන්(25) මහතාගේ බිරිදට හා දරුවන්ට අංග සම්පූර්ණ නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් ලබා දීමට කටයුතු කරන බව මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය.

නිරෝෂන් මහතා ජීවත්ව සිටි නිවස අබලන් වී පැවතීම නිසාත් ස්වාමියාගේ වියෝවෙන් පසු බිරිදට හා දරුවන්ට ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම නිසාත් ඔවුන්ට ජීවත්වීම සදහා ව්‍යාපාරික ස්ථානයක්ද ලබා දීමට තීරණය කළ බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා පැවසීය.

ඒ අනුව හෙට(25) පෙරවරු 11.25ට යෙදෙන සුභ මොහොතින් කතරගම ප්‍රදේශයේ පිහිටි නිරෝෂන් මහතාගේ නිවස තිබූ ස්ථානයේම නව නිවසක් හා නිවස ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමට නියමිතය. මේ සදහා අවශ්‍ය පවිත්‍රතා කටයුතු අද (24) දින සිදු කිරීමට නියමිතය. 

මිය ගිය නිරෝෂන් මහතාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සදහා ඔහු උසස්පෙළ විභාගයට මුහුණ දෙන තුරු අවශ්‍ය වියදම්ද මාසිකව ලබා දීමට කොළඹ කිරුළපන camera.lk ව්‍යාපාරික ආයතනයේ හිමිකරු අනුශ්ක ගුණසිංහ මහතා විසින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

මිය ගිය පුද්ගලයාගේ තුන්මාසයේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙර නිවස හා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු අවසන් කර පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට බාර  දී නව නිවසේ දානය පැවැත්වීමට කටයුතු කරන බවත් ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා පැවසීය.