පොලිස් විශේෂ කාර්ය බළකාය දියමතත් බලය පතුරයි


(ඉන්දිකා රාමනායක)

ජලය හා ජලාශ ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ක්‍රියාවක් මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රථම වරට "දියමත විශේෂ මෙහෙයුම් ඒකකයක්" ස්ථාපිත කර ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ නව ඒකකය ස්ථාපිත කර ඇති අතර මේ සඳහා නිලධාරීන්16 ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා පත් කර ගෙන ඇත.

ඔවුන්ට ඒ සඳහා සති දෙකක පුහුණුවක් ද ලබා දී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ජලය ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය,වැලි,දැව ජාවාරම්,නීති විරොධි මැණික් ගැරීම්, නීති විරෝධී මත්පැන් ජාවාරම, ආදී කටයුතු මැඩපැවැත්වීම මෙම විශේෂ ඒකකයේ ප්‍රධාන අරමුණ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ සංවිධානය සහ ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සම්මේලනය විසින් ඒ සඳහා අවශ්‍ය සහය ලබා දී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම ඒකකය ස්ථාපිත කිරීමේ උත්සවය බොල්ගොඩ දී පැවති අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද සහභාගී වී සිටියේය.

මේ ඒකකයේ ස්ථානාධිපති වරයාව වශයෙන් පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.එල් ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.