පොලිස් ලොක්කන් 9 දෙනකු ගැන සොයන්න සී.අයි.ඩීයට නියෝග


(ඉන්දිකා රාමනායක)

 ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් නවදෙනකුට අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතීපතිවරයා යොමු කළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පති  අද  (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම නිලධාරීන්ට  එරෙහිව  අපරාධ චෝදනා  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, විනය කි‍්‍රයා සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකටත්  මෙලෙස  දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
මෙලෙස අපරාධ හා විනය කි‍්‍රයා  ගැනීමට  නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, විශේෂ ආරක්‍ෂක දිසාව බාර නියොජ්‍ය පොලිස්පතිවරයාට ,මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 3 සහ 4 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.