පොලිස් පොතෙන්


පිළිමතලාවේ විදුහලක පාසල් සිසුවකුට එම පාසලේම සිසුන් 10 දෙනකුට වැඩි පිරිසකගේ පහර කෑමට ලක්ව ‍රෝහල්ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය කියයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පමුණුව ප්‍රදේශයේ පදිංචි සිසුවාට පාසලේම 12 වසරේ සිසුන් පිරිසක් ‘උඹේ ලේ බලන්න ආසයි‘ කියා වැසිකිලියට රැගෙන යාමට උත්සාහ කරද්දී සිසුවා එයට විරුද්ධ වී ඇති බවත් ඒ අවස්ථාවේදී සිසුවාගේ කකුල්වලට, බඩට, හිසට හා පපුවට දිගින් දිගටම පහර දී ඇති බවත් ඇඳ සිටි පාසල් ඇදුම් වල සපත්තු පහරවල් සිටින ලෙස සිසුවා  බිම දමා පාගා  ඇති බවත් පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.

මේ අතර පිළිමතලාව, ගඩලාදෙණියේ සිය නිවසේදී 7 හැවිරිදි දැරියකට පහරදුන් බව කියන මවක් සහ දියණියක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම දැරිය පේරාදෙණිය, හන්තානේ පදිංචිව සිට ඇති අතර පහරදුන් බව කියන ගඩලාදෙණියේ සිය හිතවතකුගේ නිවසේ අයට දැරිය රැකබලාගැනීමට බාරදී ඇගේ මව විදෙස් රැකියාවකට ගොස් ඇති බවත් කියති.

බදාදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර මව සහ දියණියට වෙන වෙනම ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ඇප නියම කෙරිණි.