කෑගල්ල, නෙලුම්දෙණිය නගරයේ ජිවත්වන ඉද්දෙමල්ගේද විරේලාගේ ලුසියා වයස අවුරුදු 60ක කාන්තාවකි. අවිවාහක ලුසියා වසර 40ක සිට වෙළදාමක් සිදු කළ ඇය එයින් දිනකට රුපියල් දහස් ගණනක් ඉපැවුවාය. මාස දෙකක සිට ඇය ඉන් ඉවත්ව සිටින්නීය. ඒ වෙනුවට ලුසියා නෙලුම්දෙණිය ව්‍යාපාරිකයකු යටතේ රුපියල් 15000ක වැටුපකට රැකියාව කරමින් තම ජීවිතය ගැටගසා ගනිති. අැගේ වෙනසට හේතුව කුමක්ද? ලංකාදීප එසැණ එය සොයා කෑගල්ල පොලිස් වසමට අයත් දැදිගම පොලිස් ස්ථානයට ගොඩවිය.
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමනසේකර මහතා අපව ඉතා සුහදව පිළිගනිමින් ඒ පිළිබඳව මෙසේ පැවසිය.
ඇත්තෙන්ම ලුසියාගේ කතාව ඔයාලට කොහොම ආරංචි වුනාද කියලා මම දන්නේ නැහැ. නමුත් කතාව ඇත්ත. ඇය අවුරුදු හතළිහක් පස්වැනි සිල්පදය කැඩීමට සම්බන්ධ රැකියාවක නිරතවෙලා තියෙනවා. පොලිසියට කොටුවෙන වාර අනන්තයි. ඒ වගේමයි අධිකරණයට දඩ මුදල් ගෙවන වාරත්. දඩුවම් ලබලා ඇවිත් නැවත කරන්නෙත් ඒකමයි. මම පුද්ගලිකව ලුසියාට කරුණු කාරණා පහදලා දුන්නා. කාන්තාවක් වශයෙන් තවත් කාන්තාවන් කී දෙනෙක්ගේ පවුල් ජිවිත විනාශ කරවද කියලා ඇහැව්වා. ඒ විදියට අගේ මනසට මම කතා කළා. කියන්න සතුටුයි. ඇය එම වෙළදාම නවත්වන්න පොරොන්දු වුනා. ඒ වෙනුවට ඇය මගෙන් ඉල්ලීමක් කළා. ජිවත් වෙන්න රැකියාවක් හොයලා දෙන්න කියලා. නෙලුම්දෙනියේ මම දන්නා ව්‍යාපාරික මහත්තයෙකුට මේ ගැන කිව්වාම එයා ලුසියට රැකියාවක් දුන්නා. තවත් එක කාන්තාවක් පොලිසියට නිතරම ඇවිත් පැමිණිලි කරනවා තමන්ගේ සැමියා බීලා ඇවිත් තමන්ට පහර දෙනවා කියලා. ඒ නිසා ළමයට අධ්‍යාපනය ලබන්න විදියකුත් නැහැ කියලා. අපි නීතිමය කටයුතු කළා. නමුත් ප්රශ්නය ඒ විදියමයි. පන්සලේ හාමුදුරුවොත් එක්ක මම මේ ගැන කතා කරලා සැමියාට නොදන්වා ඒ ගෑණු කෙනාටත් පුතාටත් රැකියාවක් එක්ක තැනක් හොයලා දුන්නා. ළමයව පාසලකටත් ඇතුලත් කළා.දින කිහිපයකට පස්සේ ඇගේ සැමියා හොදටම අසනීප වුනා. ඇය ඔහු බලන්න ගියා. ඔහුට සැලකුවා. දැන් ඇගේ සැමියා බීම නවත්වලා ඇය ඉන්න තැනම රැකියාවක් කරමින් තුන්දෙනා එකට ජිවත් වෙනවා. තවත් එක් කාන්තාවක් තමන්ගේ දරුවට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න මේ ව්‍යාපාරයම කරනවා. ඇය කියන විදියට ඇය හිටපු අභ්‍යාස ලාභී නැටුම් ගුරුවරියක්. මිට වසර ගානකට පෙර රැකියාව නැතිවෙලා. සැමියත් ඇය අතහැරලා ගිහින්. ළමයා හොඳ සරසවියක ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්තා. දක්ෂතාවය නිසාම දියුණු රටකට ශිෂ්‍යත්වයක් ලැබිලා ඔහු එම රටේ ඉගෙන ගන්නවා. ඇයත් දැන් මේ වෙළදාම නවත්වන්න සුදානම්.රැ කියාවක් හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.
මේ හැමදේම කරන්න මගේ ඉහළ නිලධාරීන්ගේ සහයෝගය මට ලැබෙනවා. සමාජ සුබසාධන අමාත්‍යංශය වගේ රජයේ ආයතනයක සහයෝගය අපිට ලැබෙනවා නම් නැතිබැරි කමට නීතිවිරෝධී මේ වගේ වැඩ කරන අහිංසක මිනිස්සුන්ව යහමගට ගන්න ගොඩක් දේ කරන්න පුළුවන්. කියන දේ අහන්නේ නැතිව නීතිවිරෝධී කටයුතු කරන කිසිම කෙනෙකුට මගෙ පොලිස් බල ප්‍රදේශය තුළ බුරුලක් නැහැ. දේශපාලන බලපෑම් වලටත් මම යටත් වෙන්නේ නැහැ.
වසර 40ක් පුරාවට එමවෙළදාමේ යෙදුනු ලුසියා නමැති කාන්තාව සොයා ඇය සේවය කරන ස්ථානයට ද අප ගියේය.
ප්රශ්නය, ඔබේ ඡයාරුපයක් සමග ඔබ ගැන පුවත් පතකට ලිව්වට කමක් නැත්ද?
ලුසියා, නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කරපු දේවල් ගැන මම පසු තැවෙනවා. නමුත් මම දැන් ඒ වැරදි වැඩ නවත්තලානේ.
ප්රශ්නය, ඔබ නිතිවිරෝධිව ලොකු ආදායමක් ලැබුවා. දැන් ඔබ ලබන්නේ සුළු වැටුපක් මොකද වෙනස ගැන හිතෙන්නේ?
ලුසියා, මම ලොකු මුදලක් හෙව්වට ඒවා ගියේ උසාවියටයි, මම වෙනුවෙන් පෙනී හිටපු නීති මහත්වරුන්ටයි. මම මහන්සියෙන් හොයන මේ සුළු මුදල මට හොදටම ඇති.



