පොලිස් නිලධාරීනුත් මුදලට නැමෙනවා - පොලිස්පති යාපනයේදී කියයි


සිතුම් චතුරංග
 
පොලිස් නිලධාරීන් ද මුදලට හා කාන්තාවන්ට නැමෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යාපනයේ දී පැවසීය. පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ හස්ත මුද්‍රාවෙන් එම සිදුවීම් දෙක පෙන්වමිනි. 
 
රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා අද උතුරේ සංචාරයක නිරත වූහ. 
 
අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උතුරේ පොලිස් නිලධාරීන්ගේ හමුව පැවැත්වෙන අතරතුර මාධ්‍යහමුව පැවැත්වීමට සුදානම් වන ලෙස   මාධ්‍යවේදීන්ට දන්වා පොලිස්පතිවරයා යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ කාර්යාලය වෙත ගියේය. 
 
ටික වේලාවක් කාර්යාලයේ ගතකොට මාධ්‍යවේදීන් සිටින ස්ථානයට පැමිණි පොලිස්පතිවරයා මෙසේ කීවේය. ‘අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඉද්දි මම ප්‍රවෘත්ති සාකච්ඡා තියන එක හරිනෑ . එයාල ඉද්දි මම බකපණ්ඩිත වැඩකරන්න ඕනෑ නැහැනෙ. ඒක හරිනෑ. එයාලා කතාකරලා ඉවරවුනාම මම කියන්නම්. කොහොමද මෙහෙ තත්වේ?‘‘ යැයි පොලිස්පතිවරයා විමසීය.
 
‘මෙහේ කුඩු ගංජා වැඩියි‘ මාධ්‍යවේදීහු කීහ.
 
‘‘කුඩු, ගංජා නවත්වන්න අපි ට්‍රයි කරනවා. අපි ඒ වැඩේ කරනවා අපේ අයත් (අතින් මුදල් පිළිබද පෙන්වා) ඒකට නැමෙනවා. නැතිනම් (යළි ඇගිලි තුඩුවලින් කාන්තා  රහස් ප්‍රදේශය පෙන්වා) ඒකට නැමෙනවා. ඊයේ කුඩු සිද්ධියට ඕඅයිසීට, ඒඑස්පීට,  එස්එස්පීට කෙලින්ම චාර්ට් ෂීට්. බඩුම තමා.  මම යාපනය මාධ්‍යවේදීන් ගැන දන්නවා.  මේවා ටීවිවල දායිද දන්නෑ මචංලා. උඹලත් අම්මෝ (නැවත අත්වලින් යමක් කර පෙන්වමින්) ‘‘
 
එම අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යාපනය නිවේදිකාවක් වන කාන්තා මාධ්‍යවේදිනියක්ද සිටි අතර ඇය අපහසු තාවට ලක්වූ අයුරු දැකගත හැකිවිය. පොලිස් පතිවරයා ඇයදුටු පසු ඇහෙන් යමක් කර පෙන්වා තවත් මාධ්‍යවේදිනියකට උසුලූ විසුලූ කොට එම ස්ථානයෙන් යන්නට ගියේය.
 
 කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන පොලිස්පතිවරයාගෙන් විමසද්දී ප්‍රකාශ කළේ  බහුතරයක් නිලධාරීන් අල්ලස්, ලිංගික අල්ලස් නොගන්නා බවයි.