( ජුඩ් සමන්ත)
හෙරෝයින් මත් කුඩු ජාවාරමේ නිරත පුද්ගලයෙකු සහ ඔහු බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ කළ අයෙකු හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ
නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 3 යි මිලි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකුව හලාවත - විලත්තව ප්‍රදේශයේදී කොට්ඨාස මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු 38 හැවිරිදි අයෙකි.සැකකරු හෙරෝයින් මත් කුඩු ප්‍රවාහනය කිරීමට යොදා ගත් යතුරු පැදියක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම සැකකරු විලත්තව සහ අවට ප්‍රදේශ වලට හෙරෝයින් මත් කුඩු ගෙනවිත් බෙදා හරින අයෙකු බවට හදුනා ගෙන ඇත. එම සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැටලීම කළ නිලධාරීන්ට දුරකථනයෙන් කථා කර ඇති අයෙකු තම සගයා මුදා හරින්නේ නම් අල්ලස් මුදලක් ලබා දීමට කැමති බව පවසා ඇත.
උසස් නිලධාරීන්ගේ උපදෙස් ලබා ගෙන එම පුද්ගලයාව හලාවත පොලීසිය තුළට ගෙන්වා ගැනීමට කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.එම පුද්ගලයා වැටලීම කළ නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් හලාවත පොලිස් ස්ථානය තුළදී ලබා දෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.
මත් කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුව මෙහෙයවා ඇත්තේ පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ අය බවට සැකකරන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.