පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත්වූ තිදෙනාට උපහාර


ක්‍රිෂාන් ජීවක ජයරුක්
 
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සැලක් මංකොල්ල කෑමට පැමිණි පාතාල කල්ලිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් තිදෙනෙකු ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබා දීමට තීරණය කළ බව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා පැවසීය.
 

මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ  හෙට (26) පැවැත්වීමට නියමිත ඇගයීම් උත්සවයේදී ඔවුන්ට රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතව තිබේ.
 
ගිනි අවි රැගත් කොල්ලකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව යාමටත් පෙර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත්වීම වෙනුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකුට එසේ උපහාරය පුදකරන බව මාරපන මහතා වැඩිදුරටත් කීය.
 
ඔවුන් විසින් මාතර  රෝහල වෙත රැගෙන යනු ලැබූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත්වූ අතර තුවාල ලැබූ අනෙක් සැරයන්වරයා හා පොලිස් කොස්තාපල් රියදුරුවරයා තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති. 
 
මෙම සිද්ධියේදී තම රාජකාරිය අකුරට ඉටු කළ තුවාල ලැබූ එම සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධූරයටද පොලිස් කොස්තාපල් රියදුරුවරයා පොලිස් සැරයන් රියදුරු තනතුරට උසස් කිරීමට මාතර පොලිස් අධිකාරීවරයා නිර්දේශ කර තිබේ.