පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ ඇගයීමට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්) 
 
පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි.

 
මාතර කාලිදාස පාරේ පිහිටි පොලිස් අධිකාරී කාර්යාලදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විනි.
 
කොල්ලකරුවන් ගැන සැක සිතී ඔවුන් පැමිණි යතුරුපැදි නවතා තිබූ ස්ථාන වලින් ඉවත් කර වෙනත් තැනකට ගෙන ගොස් සඟවන ලද පුද්ගලයින් 4 දෙනෙකුද මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ත්‍යාග මුදල් පෞද්ගලිකව ලබා දීමට කටයුතු කර තිබුණි.
 
ඊට අමතරව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට ක්‍රියා කළ එච්.ජී.ගයාන් චානක,ඒ.ජී ප්‍රභාත් ගාමිණි,ලොකුගේ මහේෂ් සුරංග,සුනන්ද ගුණසේකර හා දසුන් රංගන ගුණසේකර යන මහත්වරු 5 දෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් මුදල් චෙක්පත් ප්‍රධානය කෙරිණි.
 
මෙහිදී බරපතල තුවාල ලබා සිටි පොලිස් සැරයන් වරයෙකු තනිවම තම දෑතට ගෙන ඔහුගේම වෑන් රථයෙන් මාතර මහ රෝහලට රැගෙන ගිය අහංගම එච්.ජී.ගයාන් චානක මහතාට ලබා දුන් රුපියල් පන් දහසක මුදල ඒ මහතා මාතර මහ රොහලේ රෝගීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා යලි ලබා දීම සිදුවිය.
 
මේ සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු හා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.