පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා සැකකරුවෝ පලා යති


(එස්. ඩී. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ )

අකුරැස්ස  නගරයේ රාජකාරි යෙදී සිටි  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (06)  අලුයම දී  යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

 නගරයේ රාජකාරීයේ යෙදී සිටි මෙම  පොලිස් නිලධාරීන් දෙදෙනා  අංක තහඩු නොමැති  යතුරුපැදියක් නතර කිරීමට අණ කිරීමේ දී  එම යතුරු පැදියේ  පැමිණි පුද්ගලයන් දෙදෙනා  අණ නොතකා ධාවනය කර  ඩඩ්ලි සේනානායක මංසන්ධියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනාට   ටී-56 ගිනි අවියකින් වෙඩිතබා පලා ගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.
 
මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අකුරැස්ස පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් 45950 හේමන්ත සහ කොස්තාපල් 72339 නුවන් යන පොලිස් නිලධාරීන් දෙදෙනාය.
 
ඔවුන් අකුරැස්ස රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට  ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පාදවලට තුවාල සිදුවී  ඇතැයි පොලීසිය කියයි.