පොලිස් නිලධාරියාට ආසාදිතයැයි පුවත පළකළාට මාධ්‍යවේදියාට මරණ තර්ජන


(දිලීප් ජයසේකර)
 
නිදහස් දින උලෙළට ගොස් පැමිණි තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පුවත්පතට වාර්තා කළේ මන්දැයි විමසා කතරගම පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කතාකර මරණීය තර්ජනය කළ බව ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී(කතරගම) එම්.කේ.නන්දසේන මහතා පැවසීය.

 
මේ හේතුව මත ඔහු තංගල්ල කොට්ඨසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබේ.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී එම්.කේ.නන්දසේන මහතා මෙලෙස ද පැවසීය.
 
“පසුගිය දා කොළඹ පැවති නිදහස් දින උලෙළට කතරගම පොලිසියෙන් සහභාගී වු උසස් නිලධාරියෙකුට කොරෝනා අසාදනය වී ඇති බව දැනගැනීමට ලැබුණා. ඔහුත් සමග තවත් නිලධාරින් දෙදෙනෙකුත් නිරෝධායනයට යොමු කර තිබුණා. ඒ අනුව මම එම පුවත දිනපතා පුවත්පතකට වාර්තා කළා. එම පුවත පළවීමෙන් පසු 2021.02.10 දින දහවල් 12.13ට එම නිලධාරියා මට දුරකතනයෙන් කතා කර ‘ඇයි මේක පත්තරේ දැම්මේ. මම සනීප වෙලා ආවම බලා ගන්නම්’ ආදි වශයෙන් මට තර්ජනය කළා. මේ අය ගිනි අවි අතේ තියාගෙන රාජකාරි කරන පිරිස්. මාධ්‍යවේදියෙකු ලෙස මම කළේ මගේ රාජකාරිය. අද වන විට මාත් මගේ දරුවන් හා බිරිඳත් දැඩි අපහසුතාවයකින් ඉන්නේ මේ තර්ජනය කිරීම හමුවේ. මේ සම්බන්ධයෙන් මම කතරගම ස්ථානාධිපතිවරයාට, සහකාර පොලිස් අධිකාරීවරයාට, තංගල්ල කොට්ඨාසයබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතාට දුරකතනයෙන් වගේම ලිඛිතවත් පැමිණිල්ලක් කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කෙරේවි කියලා බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.
 
මේ සම්බන්ධයෙන් තර්ජනය කළ බව කියන කතරගම පොලිසියේ උසස් පොලිස් නිලධාරියාගෙන් ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙලෙස පැවසීය.

“මම ඔහුට මරණ තර්ජනය කළේ නෑ.මන් දුරකතනයෙන් කතා කර විමසීමක් කළා ඇයි මගෙන් අහන්නේ නැතිව මේ පුවත පළ කළේ කියා. එපමණයි මම ඇහුවේ. ඒ ඇරෙන්න බැණවැදීමක් කළේ නෑ” යැයි පැවසීය.