පොලිස් කොමිසම ශක්තිමත් මදිලු


හර්ෂණ තුෂාර සිල්වා

ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් විය යුතු යැයි මෙරට සංචාරයක එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීහූ කොළඹදී අද (15) ප්‍රකාශ කළහ. 
 
පොලිසිය විසින් කරන ලද අත්තනෝමතික රඳවාගැනීම් සහ වදහිංසා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු යැයි ද එම නිලධාරීහූ කීහ. 
 
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී එකසත් ජාතීන්ගේ
ක්‍රියාකාරී කණ්ඩායම වෙනුවෙන් එහි සාමාජික ඕසේ ග්වේරා ඉහත පිළිතුරු දුන්නේය. 
 
පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීන් දින 11 ක කාලයක් මෙරට රැඳි සිටිමින් අත්තනෝමතික රඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවවේ පුද්ගලික නිදහස සඳහා වූ අයිතිය භුක්ති විඳීමේදී මුහුණ පාන්නට සිදුවන සැලකිය යුතු අභියෝග ආදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලීය.
 
මෙරට සංචාරයෙන් සොයාගන්නා කරුණු ඇතුළත් වාර්තාවක් මෙම කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ඡායාරූප ශාන්ත රත්නායක