
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පැවරීමට විපක්ෂය දැඩි ලෙස විරෝධතාවය පළ කරන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙකු වීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා:
පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න දෙන්න බැහැ. පඹයකු කර ගන්න දෙන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ පොදු විරෝධතාවය පළ කරනවා.
සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා:
පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර යවලා
පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට. මොකක්ද මේ අද කරන්නේ
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:
බොරු බිල්ලෙක් මවන්න එපා. මේ මාරුවීම් කරලා තියෙන්නේ පොලිස් කොමිසම. කොමිසමෙන් කළේ.
දයාසිරි ජයසේකර මහතා:
පොලිස් කොමිසම මාරුවීම් කරලා නැහැ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:
ජනාධිපතිතුමා කළුතර දී පොලිස් කොමිසමට තර්ජනය කරලා තියෙනවා. ස්වාධීන පොලිස් කොමිසමේ බලය එතන තියන්න. පොලිස්පතිවරයාට පවරන්න එපා.
මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා:
ගැසට් එකක් ගෙනල්ලා සියලු දේවල් පොලිස්පතිතුමාට බාර දෙන්න යන්නේ.
නලින්ද ජයතිස්ස මහතා:
මෙතුමන්ලා කියනවා පොලිස් කොමිසමෙන් කළාට පස්සේ අභියාචනා කරන්න තැනක් නැහැ කියලා. පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දෙයක් පැවරුවම ඒ කොමිසමට අභියාචනා කරන්න පුළුවන්. කොමිසම ඒ බලය පොලිස්පතිවරයාට පවරනවා නම් අභියාචනා කරන්න කොමිසමකුත් තියෙනවා. ඔබතුමාලා බයවෙන්න එපා. කලබල වෙන්නත් එපා.

