පොලිස් කොමිසම අමතර රැස්වීම් කැඳවයි


බිඟුන් මේනක ගමගේ
 
ජාතික පොලිස් කොමිසම රැස්වන සභා වාර ගණන වැඩිකිරීමට තීරණය කර ඇතැයි එහි සභාපති පී.එච් මනතුංග මහතා ලංකාදීපයට පැවසීය.

 
ව්‍යවස්ථා සභාව මගින් පත්කෙරුණු ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මස අවසන් වන බැවින් තමන්ට ලැබී ඇති පැමිණිලි ඊට පෙර කඩිනමින් විභාග කර අවසන් කිරීමට මෙසේ අමතර රැස්වීම් පැවැත්වෙන්නේ යැයි සභාපතිවරයා කීය.
 
වසර තුනක නිල කාලයේදී මෙතෙක් කොමිසමට පැමිණිලි 4659 ක් ලැබී ඇති අතර එයින් 4263 කට විසඳුම් දී ඇතැයි ද එය ප්‍රතිශතයක් වශයෙන් 91% ක් යැයි ද මනතුංග මහතා කීවේය.
 
පොලිස් නිලධාරින්ගේ අභියාචනාවලින් තවත් 1079 ක් ඉතිරිව ඇතැයි කී හෙතෙම කොමිසමේ නිල කාලය අවසන් කිරීමට පෙර ඉදිරි මාස තුනක කාලයේදී අනිවාර්යෙන්ම ඒවා විසඳා අවසන් කරන්නේ යැයි ද අවධාරණය කළේය.
 
අභියාචනා විසඳා අවසන් කිරීම පමාවූයේ පොලිස්පතිගෙන් ලැබිය යුතු වාර්තා කලට වේලාවට නොලැබීම යැයි ද පොලිස්පතිගේ වාර්තා පමා වන විට කොමිසම විසින් ගනු ලැබිය යුතු තීරණ පමාවන්නේ යැයි ද මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.