පොලිස් කාන්තාවගේ සාක්කිය අකුරැස්ස හිටපු සභාපති හබ නොකර පිළිගනී


මනේප්‍රිය ගුණසේකර
 
අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා යටතේ සේවය කළ යුවලකගේ බාලවයස්කාර දියණිය රවටාගෙන හෝටලයකට ගෙන ගොස් දුෂණයට ලක් කලැයි සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පොලිස් කොස්තාපල්වරියකගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟවීම නිසා නඩු විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය.

 
මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරීනියකව සිටි කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය මසක් වයසැති සිය කිරිකැටි බිළිඳාද සමඟ මෙම නඩුවේ සාක්කි දීමට පැමිණ සිටියත් විත්තියේ නීතීඥ මහතා වෙනත් නඩුවකට පෙනී සිටින බව දැනුම් දුන් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගැනීම නිසා මෙලෙස නියම කෙරිණි.
 
2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02වැනිදාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට අතවර කරන ලදැයි විත්තිකාර අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
 
මෙම නඩුවේ සාක්කි විමසීමට සුදානම් වු අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරීනියන් ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය සහ කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය අධිකරණයේ පෙනී සිටියහ.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චමුදිත පිරීස් මහතා අධිකරණය අමතමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයා වෙනත් මහාධිකරණයක් හමුවේ විභාග කරන නඩුවක පෙනී සිටින හෙයින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
 

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරිනියකව සිටි කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය මෙම නඩුවේ සාක්කි දීම සඳහා අද දින මෙම අධිකරණයට පැමිණි සිටින්නේ ඇගේ මසක් වයසැති කිරිකැටි බිළිදා අධිකරණ පොලිස් මුරපෙළේ තබා යැයි පැවසීය.
 
මාතර මුලස්ථාන පොලිසියේ සේවය කළ ඇය මේ වන විට මාතලේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරන බවත් ඉතා දුෂ්කර ප‍්‍රදේශයක ජීවත් වන ඇය අද මෙම අධිකරණයට පැමිණ සිටින්නේ අධිකරණ නියෝගයට ගරු කරමින් බවත් පැවසූ මාධව තෙන්නකෝන් මහතා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීනියන් දුෂණයට ලක් වු දැරියගෙන් ප‍්‍රකාශ ලබා ගත්තේ ඇය ඉදිරිපිටදී බව ඇගේ සාක්කියේ සම්පිණ්ඩනය යැයි පැවසීය.
 
කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මියගේ සාක්කියේ වැදගත් කොටස් අධිකරණය හමුවේ කියවනු ලැබු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඇගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟ වන්නේ නම් විත්තියේ ඉල්ලීම මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තැබීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චමුදිත පිරීස් මහතා අධිකරණය අමතමින් කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මියගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟ වන්නේ යැයි පැවසීය.
 
ඒ අනුව මෙම නඩුවේ විභාගය ලබන 27 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.