පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගණනාවක් තහනම් කිරීමට යයි


(ඩයනා උදයංගනී)

පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදදී තහනම් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කමිස ඇසුරුම්වල ඇති ප්ලාස්ටික් කටු, එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි, ආහාර පෙට්ටි, යෝගට්, අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන්, පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන පොස්ටර්, දැන්වීම්, කටවුට්, බීම බට හා බීම කලතන පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි කවර, ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග්, මිලිලීටර 400ට අඩු කුඩා බෝතල්, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන දවටන, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට අඩංගු පුද්ගලික සෞඛයාරක්ෂණ ආලේපන, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු, හැඳි හා කෝප්ප ආදිය මෙම තහනම් කරන ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිෂ්පාදනයන් ද කඩිනමින් තහනම් කිරීමට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ෂැෂේ පැකට්ටු ආදී පරිසරයට හානිකර නිෂ්පාදන වර්ග පහක් පරිසර අමාත්‍යාංශය විසින් ඉකුත් මාර්තු 31 දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.

දෙවන තහනම් කිරීමේලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් සඳහා පරිසර හිතකාමී, මෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදාගෙන නිෂ්පාදනය කළ හැකි බව කී ඇමතිවරයා ඒවා පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බව ද සඳහන් කළේය.

නිදසුනක් ලෙස ඉඳිආප්ප සැකසීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වෙනුවට වේවැල් හා ඉඳි කොළ ආශ්‍රිතව ඒවා සැකසිය හැකි බව කී මහින්ද අමරවීර මහතා ප්ලාස්ටික් භාවිතයට පෙර අපේ රටේ බහුල වශයෙන් යොදා ගන්නා ලද්දේ වේවැල් හා ඉඳි කොළ බව ද පෙන්වා දුන්නේය.