(විනීතා එම්. ගමගේ)
දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී එවැනි සැරසිලි සිදුකරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන්නැයි මධ්‍යම පරිසර අධීකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද(19) පැවැති මාධ්‍ය හමුවක දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බව කී සභාපතිවරයා ඉදිරි මැතිවරණයේ දී මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බව ද කීය.
පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කරමින් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර 2034/ 36 දරන නිවේදනයෙන් පොලිතින් හෝ ප්ලාස්ටික් විවෘත ස්ථානවල දමා පිළිස්සීමද තහනම් කර ඇති බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතූ සභාපතිවරයා මෙසේ ද කීය.
‘‘ සැප්තැම්බර් පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කළ නමුත් ඒ පිළිබඳ දැඩි පරික්ෂාවන් ආරම්භ වෙන්නේ ලබන පළමුවැනිදා සිටයි. ඒ කාලය ලබා දුන්නේ විකල්පවලට මාරුවෙන්නයි. මේ වනවිටත් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පරික්ෂා කරමින් ඉන්නවා. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙන්ම ලියාපදිංචි නොවු ආයතනත් පවතිනවා. මේ සියල්ල පරික්ෂාවට ලක්කරනවා. ලියාපදංචි නොවී පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ දන්නේ නම් මධයම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘‘

