පොල්ලෙබැද්දට තෑගි වැහි වහී


ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් අම්පාර මහඔය පොල්ලෙබැද්ද ගමට   නෑගම් ගොස් පවුල් 109ක සාමාජිකයන් 371දෙනකුට ඇඳුම් පැළැඳුම් හා ආහාර ද්‍රව්‍ය බෙදා දුන්හ.

ධනේෂ් මදුරංග නම් තරුණයා මීට මාස තුනකට පෙර සිය ෆේස්බුක් පිටුවේ පොල්ලේබැද්ද ගම ගැන පණිවුඩයක් පලකිරීමෙන් පසු එය දුටු ෆේස්බුක් ගිණුම් හිමියෝ 950 දෙනෙක් පමණ එම ගම්වැසියන්ට දීටම ඇඳුම් පැළඳුම්, වියළි ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කළහ.

තෑගී බෙදාදීමට මසකට පමණ පෙර එම ගමට ගොස් අවශ්‍යතා ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයන් ගණනය කර ඔවුනට අවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් කිරීමට ෆේස්බුක් මිතුරනට සති තුනක් පමණ ගත විය.

උදව් උපකාර කළ පිරිසෙන් ඇතැමෙක් කොරියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකාව, ඉතාලිය, ඊශ්‍රායෙලය, ඕස්ට්‍රේලියාව, කුවේට්, ඩුබායි, චීනය, ජපානය, බහරේන්, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් රැසක රැකියා කරන්නෝ වෙති.

ධනේෂ්ගේ ෆේස්බුක් පණිවිඩය දුටු ඇඟළුම්හල් හිමියෝ කිහිප දෙනෙක් ද ඇඳුම් පැළඳුම් ලබා දුන්හ.

සීනි, තේකොළ, හාල්, පොල්, කිරිපිටි, පරිප්පු, සෝයා ඇතුළු ආහාර ද්‍රව්‍යය ද, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පොත්, පෑන් පැන්සල්, සපත්තු සහ බෙහෙත් වර්ග ද බෙදා දුන් ද්‍රව්‍ය අතර වෙයි.

විවිධ ප්‍රදේශවල විසිරී සිටින ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් පානදුරට පැමිණ පානදුර සිට බස්රථයකින් රාත්‍රී 11ට පමණ පොල්ලේබැද්ද ගමට යෑමට පිටත් වූ අතර පසුදින උදෑසන හත පමණ වන විට ගමට ළඟ වූහ. මේ ගමනේ දී ඔවුනට දැරීමට සිදු වූයේ ගමන් වියදම් පමණි. සෙසු සියලු දෑ ෆේස්බුක් මාර්ගයෙන් ලැබිණි.

 එහි යන විට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු සහ පවුල් 109ක සාමාජිකයෝ පැමිණ සිටියහ. එක් පවුලකට ඇඳුම් 30-50ත් අතර පාර්සලයක් ද, අනිකුත් ද්‍රව්‍ය සහිත පාර්සලයක් ද ලබා දුන් අතර ෆේස්බුක් මිතුරන් ගමෙන් පිටවූයේ එහි දුප්පත් පවුලකට ගෙයක් සාදා දෙන බවට පොරොන්දුවක් ද දෙමිනි.