පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි


(අංජුල මහික වීරරත්න)

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

2024 මාර්තු මාසයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන්නේය.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. 
2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයක් වේ.

පොල් කටු සක්‍රීය කළ කාබන්  මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. 

පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. 

දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. 

පිටි කළ පොල් කිරි අපනයනයෙන්  රුපියල් මිලියන 1587ක් පොල් ක්‍රීම් අපනයනයෙන්   රුපියල් මිලියන 1,390ක්  පොල් තෙල් අපනයනයෙන්  රුපියල් මිලියන 539ක් උපයා තිබේ.