(දයාරත්න ඇඹෝගම)
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (14) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.
‘‘මේවන විට උතුරු මැද,ඌව,සබරගමුව යන පළාත් සභා විසුරැවලා වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.මේ රජය පළාත් සභා ඡන්දය පවත්වන ආකාරයක් පේන්නේ නැහැ.
එම නිසා මෙම පළාත් සභා තුනේ හිටපු මහ ඇමතිවරුන් වන එස්.එම්.රංජිත් සමරකෝන්,මහිපාල හේරත් සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු මගින් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් පැවරීමට පක්ෂය තීරණය කොට තිබෙනවා.
ඒ අනුව මෙම මාසය අවසන් විමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට නියෝග කරන ලෙස ඉල්ලා නඩුවක් පැවරිමට කටයුතු සුදානම් කොට තිබෙනවා.
දැන් සියල්ල අමතක කරන්න අළුත් ව්‍යවස්ථාවක් රජය විසින් කරළියට ගෙනත් තිබෙනවා.මේ ව්‍යවස්ථාව අවුරුදු හතරකට පස්සේ ගෙනල්ලා දැන් තුනෙන් දෙකක ඡන්දයක් ඕන.
මේ තුනෙන් දෙක ගන්නා අකාරය පහුගියදා සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවා.අපේ ආණ්ඩුවට 117 ක් තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණේ පස් දෙනෙක් අපට ඡන්දය දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු විසිඑක් දෙනෙක් ඡන්දය දෙනවා කීවා.
මේක අමුලික බොරුවක්නේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විසි එකක් කවුද ඕකට ජන්දය දෙන්නේ.සන්ධානයේ මහ ලේකම්වරයාම කිව්වා මේකට අපි ඡන්දය දෙන්නේ නැහැ කියලා.දැනටම ජනතා විමුක්ති පෙරමුණ කියලා තියනවා මේක කෙරෙන එකක් නෙමේ ඒ නිසා මේක පස්සේ ගිහින් වැඩක් නැහැ කියලා .
එහෙම නම් කොහේද තුනෙන් දෙකක්. ආණ්ඩුවට ඡන්ද 117 යි තියෙන්නේ.මේ 117 දෙනා ගෙනුත් රට බේදනවාට විරුද්ධ මන්ත්‍රීවරු මේකට ඡන්දය දෙයිද ?ඒ නිසා මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම අකුලා ගන්න තියෙන්නේ.ඇත්තටම මේ ව්‍යවස්ථාව ගැන කතා කරන එකත් පාඩුයි.‘‘