පේරාදෙණි සරසවියේ ගස් 137ක් කපන්න යයි


චමිල් රුපසිංහ
 
විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දමා සිසුන් විශ්ව විද්‍යාලයේ පිටමං කර පාලනාධිකාරිය අත්නෝමතික ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වටිනා ගස් කපා දමන බවට සිසුහූ චෝදනා කරති.
 
කොස්, මිල්ල, මාර, කැන්ද, ජෑම් ඇතුළු ගස් 137 ක් මෙම ව්‍යාපෘතිය යටතේ ගලවා ඉවත් කිරීමට නියමිතය.
 
මේ සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ චීන රජයේ ආධාර මත ඇමැරිකානු ඩොලර් බිලියන 200 ක වියදමින් ඉදි කිරීමට යෝජිත ජල පර්යේෂණ විද්‍යාගාරයක් සඳහා අවශ්‍යය භූමිය සැකසීම පිණිස ගස් 137 ක් කපා දැමීමට   අනුමැතිය ලබාදී ඇති බවයි.
 
සිසුන් අනවබෝධයෙන් කටයුතු කර ප්‍රශ්න ඇති කිරීමට යන බවත් මෙම විද්‍යාගාරය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට හැකි වීම පිළිබඳ ඔවුන් සතුටු විය යුතුව   බවත් ඒ මහතා සඳහන් කළේය.
 
අදාළ විද්‍යාගාරය ඉදි කිරීම පිණිස ගස් 137 ක් ඉවත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සිසුන් පිරිසක් එහි ගොස් ඊට විරෝධය දක්වා ඇත. 
කොන්ත්‍රාත්කරු පාලක සභාව මගින් රුපියල් 280000.00 ක මුදලකට අදාළ ගස් ඉවත් කිරීම පිණිස තමන්ට ලබාදුන් අවසර පත පෙන් වීමෙන් පසු සිසුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.