පෙරපාසල් ගුරුවරිය යටකර පලා ගිය ව්‍යාපාරිකයා අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා  මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු  වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

අනතුර සිදු වූ ඉකුත් 5 වෙනි දින ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු මෝටර් රථයේ ලියාපදිංචි අංකයේ අවසන් අංක 4  කොල කැබැල්ලක ලියා වෙළෙඳ සැළකට ලබාදී තිබියදී ඒ ඔස්සේ සිදුකළ  දීර්ඝ විමර්ශනයකින් අනතුරුව   එම මෝටර් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ එකක් බවට හඳුනා ගත් බව පොලිසිය කියයි.

අනතුරුව එහි  ලියාපදිංචි අයිතිකරු හඳුනාගෙන   ඔහු  එය කුලී පදනම මත ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව  එය කුලියට ලබා ගෙන තිබූ ව්‍යාපාරිකයා  පොලිසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනතුර ඔහු අතින් වූ බවට පිළිගත් බව පොලිසිය කියයි.