පෙරදා හමු වු සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්


(ත‍්‍රිකුණාමලය - අමදෝරු අමරජීව)

පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගරාවැටුණු චෛත්‍යය අඩි 15ක පමණ වට ප‍්‍රමාණයකින් යුත් එකක් වන අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් මේ ස්ථානය සොයාගැනීමෙන් පසුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක්ද සකස්කර තිබිණි.දින කීපයකට ඉහතදී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබූ මේ ස්ථානයට පෙරේදා (18) කඩාවැදුණු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත‍්‍ර යොදාගෙන ගරාවැටුණු චෛත්‍යය සමතලා කොට තිබිණියැයි පොලිසිය කියයි. චෛත්‍ය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක් හමුවූ බවද පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම සඳහන් කර තිබිණි.

මෙම පුරාවිද්‍යා භූමිය ඩෝසර් යන්ත‍්‍ර යොදා සමතලා කර තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සාම්පූර් පොලිසිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මූතුර් මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාත් නැගෙනහිර ආණ්ඩුකාරවරයා සහ ත‍්‍රිකුණාමල දිසාපතිවරයාත් දැනුම්වත් කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම නිලධාරින් කණ්ඩායමක් පිටත්කර යැවූ බව ත‍්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතා පැවැසීය. සාම්පූර් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.