පෙර මඟ ලකුණු හොඳ නෑ


කෙසෙල් කැන කපන හොරාටත් නිදහසට කරුණු කීමේ අවස්ථාවක් දෙන නමුත් රටේ සිව්වැනි පුරවැසියා වන අගවිනිසුරුවරියට ඒ අවස්ථාව අහිමි කළැයි ද, විපක්ෂ මන්ත්‍රීන් සිව් දෙනා දෝෂාභියෝග තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසා යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. රජය විපක්ෂ මන්ත්‍රීන්ගේ හඩට කන් නොදුන් බවත්, ඔවුන් කළ යෝජනා ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කීවේය. අපේ රට බරපතල තැනකට පත්වී ඇතැයි ද, දෝෂාභියෝග ප්‍රශ්නය ශිරානි බණ්ඩාරනායක මහත්මියට හෝ අධිකරණයට පමණක්ම බලපාන ප්‍රශ්නයක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ උත්සාහයක එක් පියවරක් යැයි ද, අනාගත ඛේදවාචකයක පෙර මග ලකුණු එයින් පෙනේ යැයිද ජවිපෙ ලේකම් කීවේය.