පෙත්සම අවසන් වන තුරු අලස් ඇතුළට නොගනී


තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අවසන්වනතුරු  ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්   ශ්‍රේෂ්ඨාධිකරණය  අද (02) නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න  යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ රාජ්‍ය ආයතනයක මුදල් එල්ටීටිඊ නායකයින් වෙත ලබා දී ඇති පෙත්සම්කරු සපාරාධි විශ්වාසය කඩ කිරීම හා මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ විශේෂ විමර්ශන ඒකකයේ පස් වතාවක් පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දෙමින් පෙත්සම්කරු අදාළ විමර්ශන වලට සහාය දැක්වු බවය. එසේ  තිබියදී පුද්ගල නිදහස යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට  ගැනීම නීතිවිරෝධී බවය.

පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල අලස් අත්අඩංගුවට ගැනීමට සාධාරණ හේතු නොමැති හෙයින් පෙත්සම් විභාගය අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග කළේය.