පුහුණුවට විදුහල්පතිවරුන් යැව්වේ මම නොවේ - ජාතික පාසල් අධ්‍යක්ෂ


විනීතා එම් ගමගේ
 

විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම පිළිබඳව වගකීම තමන්ට ගත නොහැකි බවත් මානව සම්පත් ශාඛාවෙන් තෝරා දෙන නාමලේඛන අනුව විදුහල්පතිවරුන්ට ලිපි යැවීම පමණක් තමන් සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ වෙඩිසිංහ මුදියන්සේලාගේ ජයන්ත වික්‍රමනායක මහතා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා හමුවේ ප්‍රකාශ කළේය.
 
නායකත්ව පුහුණුවට පුහුණුකරුවන් පත්කිරීම හෝ නම් කිරීම තමන් කිසිසේත්ම සිදුනොකරන බවත් පුහුණුව සඳහා තෝරාගත් විදුහල්පතිවරුන් වෙත යවන ලිපි තමන් විසින් අස්සන් කර යැවීම පමණක් සිදුකරන බවත් වික්‍රමනායක මහතා කියා සිටියේය. 
 
හම්බන්තොට සුචී ජාතික පාසැලේ විදුහල්පතිනි රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුවක යෙදී සිටිය දී කඹයක් කඩාගෙන වැටී මිය යාම පිළිබඳව පැවැති මරණ පරික්ෂණයේ වැඩිදුර පරික්ෂණය අද (10) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ දී පැවැති අවස්ථාවේ ජාතික පාසැල් අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේය.
 
කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැති අවස්ථාවේ මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.
 
ඉකුත් පෙබරවාරි 17 වැනිදා ඇය විදුහල්පතිවරිය මිය ගියේ වාරියපොළ පිහිටි පුහුණු මධ්‍යස්ථානයක නායකත්ව පුහුණුවක යෙදී සිටිය දීය.  
   
ජාතික පාසල් අධ්‍යක්ෂවරයාගේ සාක්ෂිය අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂකවරයා ලබන 24 වැනිදාට සාක්ෂියට කැඳවූ මරණ පරික්ෂකවරයා  වැඩිදුර පරික්ෂණය එදිනට කල් තැබීය.
 
මේ අතර විදුහල්පතිනිය ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව ද මරණ පරික්ෂකවරයා වෙත ලැබී තිබිනි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එස් පී ඒ හේවගේ මහතා විසින් සිදුකරන ලද එම පරික්ෂණය අනුව විදුහල්පතිනිය ගේ මරණය සිදුවී ඇත්තේ උසකින් වැටී හිස බිම වැදීමනිසා හිසට තුවාල සිදුවීමෙනි.