පුරාවිදු කමිසුරුගේ පපුව දැවේ


සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියයි. මේ කතාව අහපුගමන් පපුව හෝස් ගාල දාල ගියා යැයි කොමසාරිස් වරයා පැවසීය. 1967 ඔක්තෝබර් 14 දා රාත්‍රී සීගිරි ළඳුන් වැනසීම ඇසූ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඬා වැටුණු බව කීවේයැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1967-68 වාර්ෂික පාලන වාර්තාවේ සදහන් වේ.  

සිකුරාදා සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත් දිසානායක මහතා කීවේය. සීගිරියේ ආරක්ෂකයන් සිංහ පාදය අසළ නොසිටි බව මෙයින් පෙනෙනවා නොවේදැයි ඇසූ විට ඒ ගැන සොයන බව ඔහු කීවේය.

1967 ඔක්තෝබර් මස 14 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් සීගරි චිත්‍ර මත තීන්ත ආලේපකොට විනාශ කැර දැමූහ. එදා පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රසායන සංරක්ෂණ) වරයකු ද වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා සහ ඉතාලියෙන් පැමිණි සංරක්ෂණ විශේෂඥයකු වූ ලුසියානෝ මරාන්සි මහතා සීගිරි චිත්‍රමත ගෑ තීන්ත ඉවත් කිරීමට දැඩි වෙහෙසකින් කටයුතු කළහ.

සීගිරියේ මන්ඩෝදක කුටි ලෙස හැඳින්වෙන සිතුවම් සහිත ලෙන ඇති ප්‍රදේශයේ ඇති සිතුවම් 19 න් 17 ක සායම් තවරා තිබිණි. ඇතැම් සිතුවම්වලට උල් ආයුධයකින් ඇන තිබූ අතර සිතුවම් සියල්ල යළි දැකිය නොහැකි ආකාරයෙන් විකෘත්ති කැර තිබිණි.

ඉතාලියේ චිත්‍ර ශිල්පියකු සහ සංරක්ෂණ ශිල්පියකු ලෙස මහත් කීර්ති නාමයක් ලබා සිටි ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී සිටිමින් මේ තීන්ත ඉවත් කළේය. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහය ලැබිණි.

1967-68 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාලන වාර්තාවේ දැක්වෙන්නේ කලබලයට පත් ඕවර්සියර් කෙනෙකු පුරාවිද්‍යා කොමසාරිස්වරයාට දුරකථනයෙන් මේ විනාශය ප්‍රථමයෙන්ම දැනුම් දී ඇති බවයි. ඔක්තෝබර් මස 15 වැනි දින උදෑසන ලැබුණු එම ඇමතුම හරිහැටි තේරුම්ගත නොහැකි වුව ද එයින් පැවසුණේ පසුගිය රාත්‍රියේ දී කොළපාට ලියන තීන්ත වර්ගයකින් සීගිරි චිත්‍රවලට හානිකැර ඇති බවයි.

පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ නියෝග අනුව ඔක්තෝබර් මස 16 වැනි දින ආචාර්ය රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත්කරන රසායනික ද්‍රව්‍ය ද රැගෙන එහි ගිය ද එය පහසු කරුණක් වූයේ නැත. චිත්‍ර ඇති ගුහාවේ අගුළු ලා තිබූ දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් ඇර මෙම විනාශය සිදුකැර ඇතැයි ද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබිණි. ඔවුන් පළමුව චිත්‍රවලට ආයුධයකින් ඇන පසුව තීන්ත ගා ඇත.

ඔක්තෝබර් 21 වැනි දින මරාන්සි මහතා ලංකාවට පැමිණ තීන්ත ඉවත්කැර යළි සීගිරි චිත්‍ර තහවුරු කිරීමේ කටයුතු ආරම්භ කළේය. රෝමය යෝජනා කළේ තීන්ත ඉවත් කිරීම සඳහා වාෂ්පශීලී කාබයින මූලස්ථ සමග බුට්ල් ඇමින් භාවිතා කළ යුතු බවයි. වීදුරු කූරක කපු පුළුන් ඔතා එම රසායනික ද්‍රව්‍ය ප්‍රවේශමෙන් යොදමින් තීන්ත ඉවත් කැරුණි. අවසානයේදී විනාශ කළ චිත්‍ර කවරේද යන්න සොයා ගැනීමට නොහැකිවන තරමටම එම කාර්යය සාර්ථකව අවසන් කිරීමට මරාන්සි මහතා සමත්වූවේය. අනතුරුව මරාන්සි මහතා දිය කළ සායම් යොදා පළුදු වූ ස්ථාන සකස් කළේය. අද දක්නට ඇත්තේ එදා ලුසියානෝ මරාන්සි ප්‍රමුඛ කණ්ඩායමක් විසින් යළි පිළිසකර කැරුණු සීගිරි සිතුවම්ය.