පුරාවිද්‍යා කැණිම් වලින් දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක්



                                                  
ක.ග කරුණාරත්න
 
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි පොලොන්නරුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරනු ලබන පුරාවිද්‍යා කැණීම් වලදී ඉපැරණි පිළිම ගෙයක් තුළ තැන්පත් කර තිබූ ආදාහනය කරන ලද දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක් අද (16) හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පොළොන්නරු යුගයට අයත් විහාර ආරාම සංකීර්ණයක් බවට විශ්වාස කෙරෙන මෙම පුරාවිද්‍යා බිමේ පසුගිය දිනවල දී  කරන ලද කැණීම්වලින් බුදුපිළිම, බෝසත් පිළිම, සඳකඩපහ, ඉපැරණි පිළිම ගෙයක අවශේෂ ඇතුළු පුරාවිද්‍යා ස්මාරක රැසක් පුරාවිද්‍යා නිලධාරින් විසින් මතු කර ගනු ලැබූහ.

එම ඉපැරණි පිළිම ගෙය තුළ තැන්පත් කර තිබී හමුවූ මැටි මුට්ටිය සෙන්ටිමීටර් 14 ක් උසැති මුට්ටියේ කට සෙන්ටිමීටර් 11 ක විෂ්කම්භයකින් යුක්ත බව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් භාරව කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාතේ කැණීම් නිලධාරී ඒ.ඒ විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

අස්ථි කොටස් වල අවශේෂ සහිත මෙම මැටි බඳුන පිළිම ගෙයක් තුළ තැන් කිරීමෙන් එය බොහෝදුරට වන්දනීය පුද්ගලයකුට අයත් ඒවා බවට විශ්වාස කළ හැකි යැයි ද ඒ මහතා කීය. 

ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා පර්යේෂණ තවදුරටත් සිදුකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් කටයුතු තවදුරටත් සිදු කෙරේ.

ඉපැරණි පිළිම ගෙය තුළ තැන්පත් කර තිබී සොයාගන්නා ලද ආදාහනය කරන ලද දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුන මෙහි දැක්වේ.