පුරා වස්තු වැනසුවොත් ලක්ෂ 20ක් දඩ


(විනීතා එම්. ගමගේ)

පුරාවස්තු විනාශ කරන්නන්ට නියම කරන දඩය රුපියල් විසි ලක්ෂයක් හෝ ඊටවඩා ඉහළ යන පරිදි පුරා විද්‍ය පනත සංශෝධනය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

දැනට පවතින නිතිය අනුව එවැනි අපරාධකරුවන්ට දඩුවම් ලෙස පැනවිය හැක්කේ රුපියල් 50000 ක දඩයක් හෝ දෙවසරක සිර දඩුවමකි.

පනත සංශෝධනය කිරීමේ දී දැනට පනතේ පවතින දඩය හෝ දඩුවම යන්න දඩය හා දඩුවම යනුවෙන් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද  වැඩ බලන පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ලංකාදීපයට පැවසීය.

පුරා වස්තු විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ බලතල සහිත වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමටද විනාශ කරන ලද පුරා විද්‍යා ස්ථාන යළි ප්‍රතිනිර්මාණය කිරීමේ බලතලද පනතින් ලැබෙන පරිදි පහත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද  හෙතෙම සඳහන් කළේය.

දැනට පවතින පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබඳ තොරතුරු ඇතොත් එහි වැටලීම සිදු කර අත් අඩංගුවට ගැනීම් සිදු කරන්නේ පොලීසිය විසිනි.

මේ වන විට සංශෝධන පිළිබඳ යෝජනා ඇත්තේ අමාත්‍යාංශ මට්ටමේ බවත් පනතට ඉක්මනින්ම සංශෝධන අවශ්‍ය වී ඇති බවත් මණ්ඩාවල මහතා තව දුරටත් සඳහන් කළේය.