අමදෝරු අමරජීව
යාපනය තිරිනල්වේලි ප්‍රදේශයේදි පුද්ගලයෙකු රැගෙන ගොස් ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වූ 51වැනි සේනාංකයට අයත් 512 බල සේනාවේ සේවයේ නියුතු යුධ හමුදා මේජර් වරයෙකුට හා සැරයන්වරයෙකුට අද (08) මරණ දඩුවම නියම කළ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා චෝදනා ලැබ සිටි කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කළේය.
යාපනය, වට්ටවාන් පාරේ අංක 53/3 හි පදිංචි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් නැමැති අය ත්‍රස්ථවාදියෙකු යැයි සැකපිට රැගෙන ගොස් 1998 සැප්තැම්බර් 10 දින හෝ ඊට ආසන්න දිනයකදි මරා දැමීයේය එරෙහිව කෝපායි පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එවකට පැවැති වාතාවරණය මත චුදිතයන් කළ අභියාචනයක් අනුව මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කැරණි. ඉන් පසු නීතිපතිවරයා යාපනය මහාධිකරණයේ නඩු පවරා තිබිණි. මෙම නඩුව වෙනත් මහාධිකරණයකදී විභාග කරන ලෙස කළ චූදිතයන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග විය.
මියගිය පුද්ගලයා ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට පැන දිවි නසා ගත් බව එකළ ප්‍රකාශ කළද මියගිය අයගේ සිරුරේ පහරදිමෙන් ලද තුවාල දක්නට තිබුණු බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වී තිබිණි.
මෙසේ මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජ මන්ත්‍රී හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා නැමැති අයටයි. කර්නල් රොනී බර්තලොව්පස් නැමැති අය නිදොස් කොට නිදහස් කෙරිණි.

