කැබිනට් ඇමතිවරුන් පත් කරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයකුට හෝ කැබිනට් ඇමති ධූරයක් ලබා දීමට අගමැතිවරයාට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරන ලද අධිෂ්ඨාන පුජාවක් අද (7) සවස හලාවත - කාක්කපල්ලිය මංසන්ධියේදී පැවැත්වුණි.
එළිවිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපති කුලියාපිටියේ අමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පුජාව සිදුකළ අතර තෙල් පහන් සහ ඉටි පහන් අතින් ගත් පිරිස අධිෂ්ඨ පාඨ කියමින් පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව කීහ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පත් කළ බවත් නමුත් තම ගැටළු සම්බන්ධයෙන් කථා කිරීමට කැබිනට් ඇමතිවරයෙකු නොමැති වීම කනස්සල්ලට කරුණක් බවත් ඔවුහු කියති.



