පුටින්නට බදු ගහන්න ට්‍රම්ප්ට බලය


(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු බලශක්ති නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රධාන රටවල් පහට සියයට සීයකින් බදු ගැසීමට ජනපති ට්‍රම්ප්ට බලය ලබාදෙන පනත් කෙටුම්පතක් ඇමෙරිකානු සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේය.

එසේම එම පනත මගින් ඉරානයට පනවා ඇති සම්බාධකවල කාලය දීර්ඝ කිරීම සඳහාද ජනපති ට්‍රම්ප්ට බලය ලබා දුන්නේය. ඒ අනුව චීනය සහ ඉන්දියාව ඇතුළුව රුසියාවේ ප්‍රධානතම බලශක්ති ගැණුම්කරුවන් පස්දෙනාට සියයට 100 ක ප්‍රතිශතයක් දක්වා බදු ගැසීමට ජනපති ට්‍රම්ප්ට බලය ලැබෙනු ඇත.

මෙම පනත සම්මත කර ගැනීම සඳහා සෙනෙට් සභාව තුළ ඡන්ද 60 ක් අවශ්‍ය වී තිබූ අතර ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 82 ක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද 12 ක් ලැබී තිබිණි.

කෙසේ නමුත් රටේ අවශ්‍යතාවෙන් සියයට 15 ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් ආවරණය කර ගැනීම සඳහා රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනය කරන රටවලට පනතෙන් බලපෑමක් එල්ල නොවන අතර එසේම රුසියාවෙන් ආනයනය කරන බලශක්ති නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීම සඳහා පියවර ගනිමින් සිටින රටවලටද මෙම පනතෙන් බලපෑමක් එල්ල වන්නේ නැත.