(අංජුල මහික වීරරත්න)
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
මේ පිළිබඳව 2024-11-25 දින පාර්ලිමේන්තුවේ කථානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදී 2023 වර්ෂයේ කැඳවන ලද නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, සියලු ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සහ තරුණ ප්‍රජාවගේ ඡන්දය සඳහා නාම යෝජනා ලබා දීමේ අයිතිය ආරක්ෂා වන පරිදි දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා වන නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකි වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.