පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ - අමරවීර


ඩයනා උදයංගනී

පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම    කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පළාත් පාලන ආයතන 167ක බලය තීන්දු කරන රිමෝට් එක තිබෙන්නේ සන්ධානය අතේ යැයි කී මහ ලේකම්වරයා තම සහය ලබා දෙන්නේ කුමන කණ්ඩායමකටද යන්න මෙතෙක් තීන්දු කර නැතැයි ද ප්‍රකාශ කළේය.

තම කණ්ඩායමට වැඩි බලයක්දීමට සූදානම් නම් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ස්වාධීන කණ්ඩායමක්, මුස්ලිම් කොංග්‍රසය හෝ ඕනෑම කණ්ඩායමකට සහයෝගය ලබාදෙන බව කී මහින්ද අමරවීර මහතා එසේ තම බලය තහවුරු කරගන්නා ආසනවල පිරිසිඳු පාලනයක් ගෙනයමින් සංවර්ධනය ළඟාකරදීමට සූදානම් බව ද කියා සිටියේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.