පීඩන අවපාතය දුර්වල වේ


ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ඇතිවී තිබූ ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට තරමක් දුබල වී පීඩන අවපාතයක් බවට පත්ව දිවයිනට ඊසාන දිග මුහුදේ කිලෝ මීටර 100ක් පමණ ඈතින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙය තවදුරටත් යාපනය අර්ධද්වීපයට ඇතුළුවීමට හෝ ඒ ආසන්නයෙන් ගමන් කිරීමට හෝ ඉඩ ඇති බැවින් ආරක්ෂාකාරීවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි. පීඩන අවපාතයේ බලපෑමෙන් දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදේ පැයට කිලෝ මීටර 100 ක් දක්වා තද සුළං සහ මිලිමීටර 100 ක් පමණ වන තද වැසි ද බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු පළාතේ සහ පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන අතර නිරන්තර වැසි ඇතිවේ.

පීඩන අවපාතය හේතුවෙන් වෙරළ ආසන්නව මීටර තුනක් පමණ උසට රළ ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

දිවයිනේ සෙසු ප්‍රදේශ හරහාත් විටින් විට තරමක තද සුළං තවදුරටත් හමායනු ඇතැයි ද උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ද , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.