පිළියන්දල සිංහල භාෂාව පිටවෙලා?


බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයේ 11 ශ්‍රේණිවල සිසුන්ට අද(14) ලබා දුන් සිංහල ප්‍රශ්න පත්‍රය ඊට පෙර උපකාරක පන්තියක ඉගැන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා කියයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව ඒ ගැන සොයා බලන ලෙස පිළියන්දල කලාපයේ නිලධාරීන්ට දැන්වූ බවත්, පිළියන්දල කලාප අධ්‍යක්ෂ ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇති බවත් ගුණරත්න මහතා පවසයි.

දේශපාලනඥයකුට සම්බන්ධ උපකාරක පන්තියක මේ ප්‍රශ්න පත්‍රය ඉගැන්වීයැයි සිසුන්ගෙන් දැන ගත් බව ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ  පිළියන්දල කළාපය මගින් දුන් ප්‍රශ්න පත්‍ර රැසක මුද්‍රණ දෝෂ රැසක් තිබීම නිසා ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට පවා සිදු විය.