පිළිකා රෝහලට බළලුන්ගෙන් තර්ජනයක්


(ජයන්ත සමරකෝන්)

මහරගම පිළිකා රෝහලේ ඇතැම් වාට්ටුවල බළලුන් ළැඟුම් ගෙන සිටීම නිසා එහි ප්‍රතිකාර ලබන තමන් අපහසුතාවයට පත්ව ඇතැයි රෝගීහු පවසති.

ඇතැම් බළලුන් දිවා රෑ දෙකෙහි මෙම වාට්ටුවල ඇඳන් යට පවා සිටීම නිසාත් එම බළලුන් අවට අපිරිසිදු කිරීම නිසාත් තමන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි එම රෝගීහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කුමාරසිරි මහතාගෙන් කළ විමසීමකදී  කියා සිටියේ රෝහල ගම්බදව පිහිටා තිබීම නිසා අවට ගෙවල්වල සිටින බළලුන් මෙසේ රෝහලට පැමිණි බවත් එසේ නමුත් එම බළලුන් ළැඟුම් ගෙන සිටියේ දැනට රෝගීන් නොමැති අත්හැර දමා ඇති වාට්ටුවක පමණක් බවත් ය.

එසේම මේ වනවිට එහි සිටි බළලුන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇති  බවත් දැනට බළලුන් නිසා රෝගීන්ට කිසිදු අනාරක්ෂිත බවක් හෝ සෞඛ්‍යාරක්ෂාවට හානියක් හෝ ඇතිවී නැතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.