පස්වරු 1.30
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පුවත සැලවීමෙන් පසු මෙම පිලිපීන ජාතිකයා පිළිබඳව වගකීම බාර ගෙන ඔහුට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇත.
නමුත් ඔහුට මෙරට රැදී සිටීමට සිදු වූ කාලය තුළ ඔහුට කටාර් රාජ්‍යයෙන් නිකුත් කර තිබූ වීසා පහසුකම අවලංගු වී යාම නිසා යළිත් අද (17) රාත්‍රී 11.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 407 දරන යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
(ටී.කේ .ජී.කපිල )
දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි පිලිපීන ජාතිකයක් (34) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහු ඉකුත් 13 වැනි දා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියේ කටාර් රාජ්‍යයේ තාක්ෂණවේදියකු ලෙස රැකියාවක නිරතවිමටය.
ඔහු මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තෝරා ගෙන තිබුණේ, කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ඍජු ගුවන් ගමන් සේවා පැවතීමත් , වෙනත් ගුවන් සේවා වලට සාපේක්ෂව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මිල ගණන් අඩු වීමත් වේ.
ඒ අනුව 14 වැනි දා ඔහු කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානය වෙත ගිය ද එම ගුවන් යානය අවශ්‍ය මගීන්ගෙන් පිරී පැවතීම නිසා, ඔහුට එම යානය ප්‍රතික්ෂේප වී ගමන් කිරිමට නොහැකිවිය.
එතැන් සිට ඔහු මේ වනතුරුත් කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දිය නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයට වී බලා සිටින අතර , ඔහු පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝ ගුවන් තොටුපොළ බලධාරීන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබිණි .
මේ අතර අද (17) උදෑසන තම සොහොයුරාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පිලිපීන ජාතිකයාගේ සොහොයුරියක් කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර ඇය මෙම සිදිධිය ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ .
ජාත්‍යන්තර නීතිය අනුව පැය 12 කට වඩා කිසිදු පුද්ගලයකු, නීතිමය අවසරයකින් තොරව රඳවා තබා ගෙන සිටීම තහනම් කටයුත්තකි.



