අක්මීමන රත්ජම්බුගහ දී වසු පැටවකු ගිල දැමීමෙන් පසුව දැවැන්ත පිඹුරෙක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශය අසල වනයට මුදා හරිනු ලැබීය.
පිඹුරා ජලාශය ඉවුරේ තැබූ විට ජලාශය හරහා මීටර 600ක් පමණ පීනා ගොස් කැළයට වැදුණේය.
ලොකු ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙපමණ දුරක් පීනා යෑම දුර්ලභ සිද්ධියක් බව පරිසරවේදීහු කියති.
පිඹුරා විසින් ගිලදැමුණු වසු පැටියාගේ බර කිලෝ 50ක් 60ක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. පෙර දින රාත්‍රියේ වසු පැටියා පිඹුරාට ගොදුරු වී ඇතැයි ද, පසු දින උදෑසන පිඹුරා හියාරේ රක්ෂිතයට රැගෙන ගිය බව ද පරිසරවේදීහු පවසති.
මෙවැනි ගොදුරක් ගිලීමෙන් පසු මාස කිහිපයක් නිරාහාරව සිටීම පිඹුරන්ගේ සිරිතක් බව ද ඔවුහු කියති.








