(කාංචන කුමාර ආරියදාස)
බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම්හලක් අසළ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ සහ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එක්තරා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ක්‍රියාශීලී ප්‍රබල සාමාජිකයන් බවයි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු මඟින් මෙම තොරතුරු ලැබීමත් සමඟ දඹුල්ල පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ලැගුම් හල ආසන්නයේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ආගමික ගැටුමක ප්‍රධාන සැකකරුවෙකු බවද පොලිසිය මෙන් එක් අයෙකු හදුනාගෙන තිබේ.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු ලෙස හඳුනාගත් අයෙකුගේ ළඟම ඥාතියෙකු අනිත් පුද්ගලයා බව හෙළි වී තිබෙන අතර ඔවුන්ගෙන් එකිනෙකාට පරස්පර ප්‍රකාශ ලබා දීම සිදුවන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දඹුල්ලට පැමිණ සැකකරුවන් දෙදෙනා කොළඹට රැගෙන යෑමට පියවර ගත්තේය,
මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල පොලිසියට උදෑසන පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ලේ ආරක්ෂාව තර කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කිරීමක්ද කර තිබේ.
සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටලුවත් සමග මාස තුනක පමණ කාලයක් සැඟවී සිටි පුද්ගලයන් බවද ඔවුන් සිදුවූ පිපිරීම් සිද්ධියත් සමඟ එම සැගවී සිටි ප්‍රදේශයෙන් කාතන්කුඩි ප්‍රදේශයට යන අතරදී පොලිස් ඇදිරිනීතිය පැනවීමත් සමඟ දඹුල්ලේ නැවතී පසුදින ගමන් කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ



