පිටුවහල් කළ මධූෂ් ලංකාවට


(ඉන්දිකා රාමනායක, ටී.කේ.ජී.කපිල ,නිමන්ති රණසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

ඩුබායි පැවති උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ  සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ  ආරච්චිලාගේ  මධුෂ් ලක්ෂිත හෙවත්  මාකඳුරේ මධුෂ් අද (5) අලුයම  මෙරටට  පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි  රුවන්  ගුණසේකර  මහතා  පැවසීය.

අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි.

මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරණ  ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර , ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණි . ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සදහන්ව තිබූ අතර , එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබුණි .

මාකදුරේ මදූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්,මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසි ගනණාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක , පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.

මාකඳුරේ මධූෂ් ව මේවනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙනවිත් තිබේ.

ඡායාරූපය - ටී.කේ.ජි. කපිල

වීඩියෝ දර්ශන - ටී.කේ.ජී. කපිල