(කාංචන කුමාර ආරියදාස )
කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව රෝහල් ගත කරනු ලැබ ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කළ බවත් දඹුල්ල පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවී ගිය කාසි සහ නෝට්ටු තොගයක් සමග මල්ලක් හමුවී ඇති බවත් පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ ත්‍රී රෝද රථය ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ එක්වරම මාර්ගයෙන් ඉවතට පැන තම මෝටර් රථයේ වැදුණු බවත් අනතුරත් සමග එහි රියැදුරු හා පොහොර බෑගයක සල්ලි මල්ලක් විසිවී වැටෙනු දුටු බවත්ය.
තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම කියා ඇත්තේ තමන් ගෙදර තිබූ කැටයක් කඩාගෙන යන අතරතුර දී මෙම අනතුර සිදුවූ බවයි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එසැණින් නිවසට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමේදී එය සාවද්‍ය තොරතුරක් බව අනාවරණය වි ඇති අතර නැවතත් තුවාලකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ සිය පියා ගලේවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවත් එම දේවාලයේ මුදල් තමන්ට ලබාදුන් බවත්ය. කෙසේ නමුත් පසුව පොලිසිය කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කණ්ඩලම වැව් බැම්මේ පිහිටි දේවාලයේ පිං කැටය කඩාගෙන මෙම පුද්ගලයා රැගෙන විත් ඇති බවයි.



