පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන් ගැන පොලිස් වාර්තා සොයයි


(විනීතා එම් ගමගේ)

මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානය කියයි.

මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රජයේ බලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

පවතින නීතිය අනුව මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් මැතිවරණයකට ඉදිිරිපත් විය නොහැකි වේ.
එවැනි තත්ත්වයක් යටතේ මෙවර මැතිවරණයටත් චෝදනා ලැබුවන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ එවැන්නන් ඉදිරිපත් කළ විට ඡන්දදායකයන්ට විකල්ප තෝරාගැනීමට අවස්ථාවක් නොවන  බැවින් චෝදනාවලින් තොර දූෂණවලට හවුල් නොවූ පුද්ගලයින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මැතිවරණයක නාම යෝජනා ලබා ගැනීමට ඉදිරිපත්වීමේ දී  පොලිස්වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කීරීම කෙරෙහි අවධානය යොමු කරවන  බව ද හෙතෙම සඳහන් කළේය.

මෙවර මැතිවරණයේ දී ඉදිරිපත්වී ඇති එවැනි දූෂිත පුද්ගලයන් පිළිබඳ පොලිස් වාර්තා හා නඩු වාර්තා ලබා ගෙන තහවුරු  කර ගත් පසු මැතිවරණයට පෙර හෙලි කිරීමට බලාපොරොත්තු වන බව හෙට්ටිආරච්චි මහතා වැඩි දුුරටත් සඳහන් කළේය.